Tuesday, August 17, 2021

ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවේ කලයුත්තේ කුමක්ද...?

 

ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවේ කලයුත්තේ කුමක්ද...?

 

අප වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින බැවින් ගුරු විදුහල්පතිවරුන් ලෙස පාසලේදී හෝ අනුබද්ධ ආයතන වෙත සිදුකල සියළු කාර්යයන්ගෙන් ඉවත්ව කටයුතු කල යුතු වේ.

a.       මේ අවස්ථාවේදී මාර්ගගත අධ්‍යාපන කටයුතු කිසිවක් සිදු නොකිරීම.

b.      5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, O/L, A/L සඳහා කිසිදු අකාරයේ සම්මන්ත්‍රණ සහ අයදුම්පත්‍ර පිරවීමෙන් වැළකීම

c.       විභාග රාජකාරි ඉල්ලුම් කිරීමෙන් වැලකි සිටීම

d.      උත්තර පත්‍ර ඇගයීම සඳහා ඉල්ලුම් කිරීමෙන් වැලකි සිටීම

e.      කලාප කොට්ඨාශ මට්ටමින් සිදුකරන රාජකාරිමය දැනුම්දීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම.

ඔබ මෙතෙක් කිසිදු ගුරු සංගමයක සාමාජිකයෙක් නොවේනම්, හැකි ඉක්මනින් ඔබේ කැමැත්ත පරිදි කිසියම්ම හෝ ගුරු සංගමයක සාමාජිකයකු වන්න. (මේ දිනවලදී මාර්ගගතව අයදුම්පත - online application පිරවීමෙන් සාමාජිකත්වය ලබාගත හැකි ගුරු සංගම් කිහිපයක් තිබේ.)

සෑම දිනකදීම හෝ දින දෙකතුනකට වතාවක් තම පන්තියේ whatsapp සමුහය තුල දරුවන් දෙමවුපියන්ගේ අවධානය යොමුවන post, share කිරීම. ( ගුරු විදුහල්පති අරගලය සහ කොවිඩ් පිළිබඳව හෝ.... _ මේ මොහොතේ දෙමවුපියන් ගුරුවරුන් කෙරෙහි යම්තාක් දුරට කිසියම් හිත් නොරුස්සන ස්වභාවයක් ලංකාව පුරාම දක්නට ලැබේ. එම තත්වය අප උගත් බුද්ධිමත් ලෙස වටහාගෙන කටයුතු කල යුතුවන නිසා)

ගුරු විදුහල්පතිවරුන්ට විරුද්ධව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය, අවලාද, මඩ ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට ප්‍රතිචාර දැක්වීමට යාමේදී ඉතාම බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ක්ෂණිකව හිතට එන ආවේගය සමඟ ප්‍රතිචාර දැක්වීමට යාමෙන් වලකින්න.

තම මුහුණුපොතේ (FB) හෝ අපගේ ගුරු විදුහල්පතිවරුන්ගේ whatsapp සමුහයන්ට සම්බන්ධ වී ඒවාට ඔබේ අදහස් පළකර සිටින්න. තමන්ට ඇති ගැටළු නිරාකරණය කරගන්න. සෑම විටම අපේ අරගලයේ සත්‍ය තත්ත්වය අනෙක් අය සමඟ බෙදා ගන්න.

නිවසට පැමිණෙන හෝ මගතොටදී හමුවන පුද්ගලයින්, යහළුවන් සමඟ හෝ අනවශ්‍ය වාද විවාද වල පැටලීමට නොයන්න. සත්‍ය කරුණු අවබෝධ කර දීමට උත්සහ කරන්න. නමුත් ඔහුගේ/ඇයගේ ස්වභාවය මත පිළිතුරු නොදී මඟහැර සිටින්න. සත්‍යය පසු කාලීනව අවබෝධ වනු ඇත.

සක්‍රියව අරගලයෙහි රැඳී සිටින්න. (නිවසේ සිට උවද මෙය සිදුකල හැක)

අරගලය පාවා නොදෙන්නෙකු වන්න. තමන්ගේ පුද්ගලික අභිලාෂයන් සඳහා සාමුහික ක්‍රියාදාමය පාවා නොදෙන්න. මේ මොහොතේ ඔබ විසින් හොර රහසේ හෝ සිදුකරන ලබන රාජකාරිමය කටයුතු පිළිබඳව තමන්ට වඩා හොඳින් අන් අය නිරීක්ෂණයේ පසුවන බව සිහිතබා ගන්න. එමනිසා පසුකාලීනව තම වෘත්තීය ජීවිතය නිරවුල් මනසකින් සිදුකිරීම සඳහා අරගලය සමඟ සක්‍රිය වන්න.

24 වසරක් තිස්සේ නොවිසඳී පවතින මෙම වැටුප් විෂමතා අරගලය මේ මොහොතේ ජය ගැනීම සඳහා ඔබට දැක්විය හැකි උපරිම සහයෝගය ලබා දෙන්න.

ගුරු විදුහල්පතිවරුන් ලෙස අප සියළුමදෙනා එකම මතයක හිඳ කටයුතු කර මෙම වැටුප් විෂමතා අරගලය ජයග්‍රහණය කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමු.

 

 

 

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

 

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

මේ දිනවල ගුරු අරගලයේ දියාරු ස්වරුපයක් පෙන්නුම් කලද ඇත්ත වශයෙන්ම බහුතරයක් ගුරු විදුහල්පතිවරුන් තවමත් මෙම අරගලයෙහි අවංක ලෙසම තම අහිමි කල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මහත් දායකත්වයක් සපයමින් සිටියි.

ඒ අතරම සම “හරක්” ගුරු විදුහල්පතිවරුන් තමන්ගේ අයිතිවාසිකම් හෝ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ලැබිය යුතු, එහෙත් මෙතෙක් සිටි සියලුම පාලකයින් විසින් ගුරු විදුහල්පතිවරුන් රවටා පුහු අත්මාභිමානයක් සහ උද්දච්ච කමක් ඔළුවතුලට කා වද්දා මෙම ගැටළුව විසඳීම මඟ අරිමින් සිටි අයුරින්ම, මෙම තත්වය වටහා නොගෙන සාමුහික ප්‍රයත්නයට පයින් ගසා තම පටු දේශපාලනික හෝ පුද්ගලික පරමාර්ථ සඳහා ඉටුකරගැනීම සඳහා වෙහෙසෙමින් සිටිනු දක්නට ලැබේ.

සියළුම දේශපාලනික පටු අරමුණු පසෙකලා, පක්ෂ පාට ආගම් කුල බේද නොසලකමින් අහිමි කල වැටුප දිනා ගැනීමේ අරගලය අවසාන ජයග්‍රහණය දක්වා එකම කැපවීමෙන් එක මතයක හිඳ කටයුතු කිරීම ගුරු විදුහල්පති වෘත්තිකයන් වන අපගේ වගකීමකි.

දරුවන්ට වටුකුරුළු කතා කියා දෙන අපේ ගුරු විදුහල්පතිවරුන් අරගල බිමේදී ඒ කියාදුන් කතන්දර, කතන්දර වලටම සිමා කර ඇති බව ද ඉතා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය නිසාවෙන් වටු වැද්දාට බිලි වීමට ඉඩ නොදීම අප සැමගේම වගකීමකි.

දරුවන්ට කුහකකම්, ඉර්ෂ්‍යාකම් නොකිරීමට ඔවදන් දෙන ගුරු විදුහල්පතිවරුන්ම, සුළුතරයක් වූ පිරිසකගේ ක්‍රියාකලාපය නිසාවෙන් අධ්‍යාපන පද්ධතියම අවලාදයට, අපහාසයට ලක් වෙමින් පැවතීම කණගාටුදායකය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ වන කරුණක් වන්නේ තම තමන්ගේ පුද්ගලික දේශපාලනමය භාවිතාවන් සමඟ බද්ධ වී හුදකලා සිද්ධීන් උලුප්පා දක්වමින් සමස්ත පද්ධතියට පහර ගැසීමය. එබැවින් ඒ සම්බන්ධව නිවැරදි කියවීමක් ගුරු විදුහල්පතිවරුන් වන අපට තිබිය යුතුමය. නොමැති වුවහොත් අප යළිත් බේදබින්න වී තවත් අවුරුදු 24කට මෙම ගැටළුව විසඳා ගැනීමට නොහැකි තැනකට පත් වීමය.

නව අධ්‍යාපන ඇමතිවරයා මෙම ගැටළුව කුමන අයුරින් විග්‍රහ කෙරුවද සිදුවන්නේ පැවති තත්වයේම දිගුවක් බවත් සඳහන් කල යුතු වේ.

එබැවින් නැවතත් අවධාරණය කරන්නේ අප සියළුදෙනා එකම මතයක සිට වැඩකරන තාක් කිසිම අයුරකින් අපගේ අතිශය සාධාරණ ඉල්ලීමට ඇහුන්කන් නොදීමට පාලකයින්ට අවස්තාවක් නොලැබෙන බවය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයට ජය.....!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිහාසය

 

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිහාසය කෙටියෙන්

 

1994 - ගුරු සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම

එහිදී ගුරු විදුහල්පතිවරුන්ගේ සේවය දීප ව්‍යාප්ත සේවාවක් ලෙස පිළිගෙන දීප ව්‍යාප්ත සේවයේ වැටුප් තලයේ පිහිටුවීම

ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රමවේද, උසස්වීම් ක්‍රමවේද, වේතනය පිළිබඳ ගැටළු නිරාකරණය කිරීමට උත්සාහ කිරීම

 

1997 - රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා - BC පෙරේරා වැටුප් කොමිසම පිහිටුවීම

අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා වැටුප් වැඩිවීමට නිර්දේශ කලත් ගුරු විදුහල්පතිවරුන් සඳහා “වැටුප් වැඩිවීම පසුව දැනුම් දෙනු ලැබේ” යනුවෙන් සඳහන් කර තිබේ. නමුත් අද වන තුරු වැටුප් වැඩිවීම සිදුවී නොමැත.

මෙමඟින් SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 5000 ක් විය.

වර්තමාන අරගලයේ මුලාරම්භය

 

1999.07.02 දින  1086/26 ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය පිහිටුවීම.

සේවයට අන්තර්ග්‍රහණය කිරීම, උසස්වීම් ක්‍රමවේදය, වැටුප් පරිමාන නිසි ක්‍රමවේදයක් අනුව සකස් කිරීම.

 

2008 නැවත සාලිය මැතිව් සහ ලයනල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නැවත වැටුප් සමාලෝචනය සඳහා කමිටුවක් පත් කිරීම.

එහිදීද 1997 දී පවතී වැටුප් විෂමතාවය එලෙසම තබාගනිමින් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම නිර්දේශ කරනු ලැබේ.

එලෙස ඇතිවන විෂමතාවය හේතුවෙන් 2008 උසස්පෙළ පිළිතුරු පත් ඇගයීමෙන් ගුරුවරු ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම.

උසස්පෙළ හදාරන ශිෂ්‍යයකු මාර්ගයෙන් මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් (නඩු අංක SC/FR/282/2008) ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය නැවත්වීම.

එහිදී එම නඩු තීන්දුව ප්‍රකාශ කරමින් එවකට අගවිනිසුරු සරත්. එන්. සිල්වා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගුරු විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කර අවශ්‍ය වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන ලේකම් වෙත නියෝගයක් නිකුත් කිරීමටත්, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් තල අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තල හා යොදා තිබෙන ස්ථානයේ වරදක් පවතින බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත් සඳහන් කර ඇත.

ඒ අනුව 2008 දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිර්දේශ කර ඉදිරිපත් කල අතුරු වැටුප් දීමනාවද ක්‍රියාත්මක නොවීය.

2008 දී SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 15000 ක් විය.

 

2016 - 03/2016 චක්‍රලේඛය මඟින් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් රු. 10000 කින් ඉහළ නැංවීම.

2018 දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිර්දේශ කර ඉදිරිපත් කල අතුරු වැටුප් දීමනාවද ක්‍රියාත්මක නොවීය. (මෙය 2008 ඉදිරිපත් කල අතුරු වැටුප් දිමනාවේම දිගුවකි)

2019 දී සමස්ත ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත්කිරීම සඳහා නිකුත් කල සුබෝදිනි කමිටු වාර්තාව (අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු තිදෙනෙකු සහ මුල්‍ය ලේකම්වරයකු ඇතුලත් කමිටුව)

ඉහත කමිටු වාර්තාව පිලිබඳ පැවති සාකච්ජාව බිඳ වැටීමත් සමඟම වර්තමාන වැටුප් අරගලයේ ආරම්භය...

වර්තමානය වනවිට SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 31000 ක් වේ.

 

 

වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ප්‍රමාද වීමට ඍජුවම බලපාන හේතු (වැටුප් කොමිසම සඳහන් කරන පරිදි)

·         ගුරු සේවා ව්යවස්ථාවට අනුව ඩිප්ලෝමාධාරීන්(ජා.ශි.වි), උපාධි, පශ්චාත් උපාධි, ගෞරව උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ දී නිසි ක්රමවේදයක් අනුගමනය කිරීමක් නොමැත. වර්තමානය වනවිට පවා නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැර වෙමින් ගුරු පත්වීම් ලබාදීම නිසා නිසි සුදුසුකම් අසම්පුර්ණ ගුරුවරුන් පද්ධතිය තුල සිටීම.

·         විදුහල්පති ව්‍යවස්තානුකුලව නිසි පරිදි විදුහල්පති සේවාව සඳහා බඳවාගැනීම් කටයුතු සිදු නොවීමට අතීතයේ කටයුතු සිදුවීම සහ වර්තමානයේදීද වැඩබලන පදනම මත සිටින සුදුසුකම් අසම්පුර්ණ විදුහල්පතිවරුන් ස්ථිර කරලීම සඳහා රජය ප්‍රයත්න දැරීම නිසාවෙන් වැටුප් විෂමතා විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම අපහසුය.

 

 සුබෝදිනි කමිටු වාර්තාවේ සඳහන් වන වැටුප් විෂමතාවය ඉවත් කිරමේදී ඒ ඒ සේවාවන් වලට අදාළ වැටුප පහත පරිදි ගණනය කර ඇත.

(මෙම වාර්තාවේද අඩුපාඩු පවතින බව සඳහන් කල යුතුය )



Thursday, July 29, 2021

ප(ආ)ණ්ඩුව සහ ගුරු උද්ඝෝෂණ

 ප(ආ)ණ්ඩුව  සහ ගුරු උද්ඝෝෂණ


රජය පැත්තෙන් කිසිම නම්‍යශීලී බවක් නොපෙන්වා රටේ අනාගතය සමඟ ඔවුන්ගේ සුපුරුදු සෙල්ලම කරමින් සිටියි. නැවතත් ගුරුවරුන් සහ විදුහල්පති වරුන් රැවටීමට තමයි මේ සිදුකරමින් යන්නේ. එය රටේ විධායක ජනාධිපතිවරයාගේ සිට  අගමැතිවරයාගේ, කැබිනට් මණ්ඩලයේ සහ සමස්ත පාර්ලිමේතු මන්ත්‍රී උතුමානන්ලාගේ මේ දිනවල ක්‍රියාකලාපය දකින ඕනෑම පොඩි ළමයෙකුට පවා තේරෙන සත්‍යයකි.

රටේ අති බහුතරයක් දෙමවුපියන්ගේ දරුවන්ට යන්න පුළුවන් මොන ඉස්කෝලෙටද...? රජයේ පාසල් වලට.
ගුරුවරුන්ගේ හිත් කඩලා බිඳලා තලලා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ගියාම වෙන්නේ සමස්ත රටේ අධ්‍යාපනය කඩා වැටෙන එක.
රජය ජන මතයක් හදන්න උත්සාහ ගන්නවා දැන් ගුරුවරු තමයි වැරදි කියලා. ළමයින්ට ඉගෙනගන්න අවුරුදු 2ක් තිස්සේ කිසිම කිසි වැඩපිළිවෙලක් හදාගන්න බැරිඋන රජයක් එක්ක එකට හිටගන්න පුලුවන් ද තමන්ගේ ළමයෙක් ඉස්කෝලේ යනවනං.....
ස්මාර්ට් ෆෝන් එකක් අතින්වත් අල්ලපු නැති විශ්‍රාම යන්න ආසන්න ගුරුවරු පවා තමන්ට හැකි උපරිම අයුරින් මාර්ගගතව ළමයින්ට ඉගැන්නුවා... දරුවන් ඒ පිළිබඳව සාක්ෂි දරයි. එත් සමහර ළමුන් සහ දෙමවුපියන්ගේ උසුළු විසුළු පවා මායිම් නොකර තමන්ගේ වගකීම සහ වගවීම පුලුවන් ඉහලම ආකාරයට සිදුකිරීමට මහත් වෙහෙසක් ගත්තා. ඒ කැපවීමට ආණ්ඩුවේ ජෙෂ්ටතමයැයි කියාගන්නා ඇමති හරක් නාඹර ගොන් වස්සන් තප්පුලැවේ තමන්ට අකුරු කෙරු ගුරුවරුන් සහ විදුහල්පති වරුන් පිළිබඳ ව පවා නොසිතමින්.

 
ඒත් හැමෝම කවදාවත් නැති විදියට එකට එකතුවෙලා ඉන්නේ ස්ටාර්ලින් හින්දද, මහින්ද හින්දද, හඳපාන්ගොඩ හින්දද එහෙමත් නැත්තම් වෙනත් වෘත්තීය සමිති නායකයෙකු කිව්ව නිසාද...?

කිසිසේත්ම නැත. (දැනට ඔවුන්ගෙන් අති බහුතරයක් නායකයින් මේ සටනේ වැදගත් වැඩ කොටසක් ඉටුකරන බව කිව යුතුය.) ගුරුවරුන්ගේ කය ගෙදර ඉන්න කිව්වත් පපු කැවුත්ත කියන්නෙම රැහේ එවුන් එක්ක එකතුවෙලා මේ ප්‍රශ්න විසඳගනියව් කියලා... ඒ හින්දමයි හැම ගුරුවරයෙක්ම විදුහල්පතිවරයෙක්ම පාරට එන්නේ...
(එහෙම නොඑන දෙවි දෙවතාවියනුත් නැතුවාම නොවෙයි)
මොනතරම් කයිය ගැහුවත් වැඩක් නෑ.... අවුරුදු 10ක සේවයක් සහිත ගුරුවරයෙක්ගේ වැටුප යන්තම් රු. 40000ක් විතර. වාර්ෂික වැටුප් වර්ධකය රු. 500 ක් වගේ. ඉතිං කොහොමද මේ උද්ධමනයත් එක්ක ජිවත් වෙන්නේ...අඩුම තරමේ මාස දෙක තුනකට සැරයක්වත් සාරියක් ගන්න ඕන, පිරිමි ගුරුවරයෙක්නම් කලිසමක් කමිසයක් සපත්තු ගන්න ඕන. අනෙක් වියදම් ගැන කියන්න ඕන නැහැනේ.
ජාත්‍යන්තර මාධ්‍ය අපේ රටේ ගුරු වැටුප ගැන මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්නකො...

Teachers in Sri Lanka are paid lower than unskilled laborers. It is surprised how elegantly Sri Lanka female teachers dress to school and how decently male teachers do, on those measly wages. How well they feed their children and themselves, only the kitchen sink should know.

ශ්‍රී ලංකාවේ රජය ගුරුවරුන්ට නුපුහුණු කම්කරුවන්ට වඩා අඩු වැටුපක් ලබා දෙයි.

ශ්‍රී ලංකා කාන්තා ගුරුවරියන් ලබා දෙන වැටුපෙන් පාසැලට කෙතරම් අලංකාර ලෙස සැරසී සිටිනවාද යන්නත්, පිරිමි ගුරුවරුන් කෙතරම් විනීතව සැරසී සිටිනවාද යන්නත් පුදුමයකි. ඔවුන් තම දරුවන් සහ තමන්ව කෙතරම් හොඳින් පෝෂණය කරගන්නවා ද යන්න  දන්නේ ඔවුනගේ මුළුතැන්ගෙයි  සෝදන බේසම විය යුතුය.”


ඇත්තටම බැංකුවකට ගියාම ණයක් ගන්න දහදුකක් විඳින්න ඕන ගුරුවරයෙක්ට... පඩිපත පෙන්නන්න ලැජ්ජයි.
ලොකුකමට ගුරුවරු හිටියට ඇතුලෙන් ලොකු පිඩනයක ඉන්නේ ඔවුන්ගේ වේතනය සහ මානසික නිදහස ගැන....

දිවයින කතු වරයා අකුරු කරන්නේ නාථ දෙවියන් හෝ කාලි මෑණිගෙන් ලැබුණු දේව වරමින් විය හැකිය. ඔහු වැහි නැති හෙන ගුරුවරුන්ට ලබාදෙන ලෙස පවසයි. තවදුරටත් ඔහු සඳහන් කරන්නේ පොර්ටබල් අකුණු සන්නායක භාවිතා කරන ලෙසය. සියළුම ගුරුවරුන් ඔහුගේ මේ අධම හැසිරීම, ලිවිම දැනගත යුතු නිසා අද දින (2021.07.29)  දිවයින කතුවැකිය කියවන්න.

අවසානයේ සඳහන් කිරීමට ඇත්තේ මෙම උද්ඝෝෂණ ක්‍රියාවලිය නතර කිරීම සඳහා ලබන සතියේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ මඟින් නියෝගයක් නිකුත් කරමින් කුමන අකාරයේ හෝ උද්ඝෝෂණ එක්රැස්වීම් තහනම් කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවයි.


ගුරුවරුන්ගෙන් අකුරක් හරි ඉගෙනගත් සියළු මිනිසුනේ, කවුරු මොන දේ පාට කණ්නාඩි දාගෙන කිව්වත් සමස්ත ගුරුවරුන් විදුහල්පතිවරුන්ව විවේචනය කරන්න යන්න එපා.

(ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් යනු මිනිසුන් කොටසක් බවත් ඔවුන් කිසිලෙසකින්වත් 100%ක් සර්ව සම්පුර්ණ මිනිසුන් නොවන බවත් සඳහන් කල යුතුය)

Monday, June 7, 2021

මාර්ගගත මාර්ගෝපදේශ සංග්‍රහය සහ යතාර්ථය

 

මාර්ගගත මාර්ගෝපදේශ සංග්‍රහය සහ යතාර්ථය

 

2020 මාර්තු මස ගෝලීය වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පාසල් වසා දැමීමට බලධාරීන් තීන්දු කිරීමත් සමඟම නැවත පාසල් ආරම්භය පිළිබඳ ව තිබුණේ අවිනිශ්චිතතාවයකි. එබැවින් එසේ පාසල් වසා දමා මාසයක් ගතවීමටත් මත්තෙන් බොහෝ පාසල් ගුරුවරුන් විවිධ මාර්ගගත ක්‍රමවේදයන් (whatsapp, zoom, google meet ..... වැනි) ඔස්සේ තම පන්තිවල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසුණි. එතැන් සිට මේ මොහොත දක්වා ගුරුවරුන් තම ඉගැන්වීම් කාර්යය සිදුකිරීම සඳහා පාසල් කාලය පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් දරුවන් හට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙමින් සිටියි. එසේ තිබියදී  2021 මැයි මාසය වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති  “මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය” බොහෝ ගුරුවරුන්ගේ දැඩි හාස්‍යයට ලක්ව ඇත. එසේ වන්නට හේතු වූ කරුණු රාශියක්ම පවතී.

·         එම මාර්ගෝපදේශය නිකුත් වූ කාල වකවානුව හා මාර්ගගත අධ්‍යාපනය පාසල් මට්ටමේ ක්‍රියාත්මක වීම අතර ඇත්තේ ගව් ගණනක දුරකි. 2020 මාර්තු මස 12 වන දින පාසල් සති පහකට වසා දැමීමට තීරණය කිරීමේ සිට මේ දක්වා වසරකුත් මාස දෙකක් ගත වී ඇත. මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට වසරකට වැඩි කාලයක් ගත වීම රටේ අධ්‍යාපනය පිළිබඳව බරපතල ශෝචනීය තත්වයක් පෙන්නුම් කරයි.

·         මෙම මාර්ගොපදේශයෙදිත් මිට පෙර නිකුත් වූ උපදෙස් අනුව යමින්ම කාර්යභාරය සහ වගකීම සිසුන් දෙමව්පියන් ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත පටවා අමාත්‍යංශ මට්ටමෙන් ඇඟ බේරාගැනීමේ ක්‍රියාවලිය නැවත වරක් සිදුකර ඇත.

·         මෙහි හැඳින්වීමෙහි ඔවුන් සඳහන් කරන පරිදි අමාත්යංශය මට්ටමින්, පළාත්, කලාප මට්ටමින් විවිධ විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. නමුත් ඔවුන් පවසන අතක ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වැඩසටහන්, බිම් මට්ටමේ අපහසුතා සහිත දරුවන්ට සහ ගුරුවරුන්ට දැඩි පීඩනයක් එල්ල කර ඇත.

·         ඔවුන් මෙහි සඳහන් කරන පරිදි දෙමවුපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ  විදුහල්පතිවරුන් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී මුහුණදෙන විවිධ අභියෝග මඟහරවා ගැනීමට මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව කියවෙයි. නමුත් මෙහිදී සඳහන් නොකරන බරපතලම අභියෝග රාශියක් ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට, දෙමවුපියන්ට පවතියි.

o   සොච්චම් වැටුපකින් තම ගෙවල් දොරවල්, යාන වාහන(ණයක් වී හෝ ලබාගෙන ඇති), දුවා දරුවන්ගේ අධ්‍යාපන වියදම් එකී මෙකි නොකී සියලු වියදම් සමඟ අරගලයක යෙදෙන ගුරුවරයා මාර්ගගත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් පරිගණකයක්, අන්තර්ජාල සබඳතාවයක්, සහ අනෙකුත් උපාංග ලබාගැනීමට අමතර විශාල මුදලක් වියදම් කිරීමට නොහැකි බව.

o   බොහෝ දෙමවුපියන්ගේ ආර්ථික මට්ටම මෙම වසංගත තත්වය හමුවේ බරපතල ලෙස පිරිහී ඇති මොහොතක තම දරුවන් වෙනුවෙන් මාර්ගගත ඉගෙනුමට අවශ්‍ය උපකරණ සහ අන්තර්ජාල සබඳතා වෙනුවෙන් වෙන් කිරීමට තරම් වත්කමක් නොමැති බව.

o   අන්තර්ජාල සංඥා නොමැතිකම හෝ ඉතා දුර්වල අන්තර්ජාල සංඥා පැවතීම

o   තාක්ෂණික මෙන්ම අහඹු දෝෂයන් පැවතිය හැකි බව අවබෝධකර නොගැනීම.

§  සියලුම දෙනා නිවසේ සිටින බැවින් නිවසේ ගොඩනැඟෙන වටපිටාවන් (වසංගත තත්වය හමුවේ නිවසටම වී සිටීමෙන් ඇතිවන මානසික පීඩනය හේතුවෙන්) මාර්ගගත කාලසටහනකට අනුව ක්‍රියාත්මක කල නොහැකි වීම.

§  දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි අවස්තාවලදී ඔවුන් සියලු දෙනාම මාර්ගගත අධ්‍යාපනයෙහි නිරත කරලීමට දෙමවුපියන්ට මහත් ආයාසයක් දැරීමට සිදුව තිබීම

§  ගුරුවරුන්ගේ දරුවන්ද මාර්ගගත අධ්‍යාපනයෙහි නිරතවන විට ගුරුවරයාට තමා ළඟ ඇති එකම උපකරණයෙන් හෝ ඉගැන්වීම් කාර්යය සිදුකිරීමට සිදුවීම.  

·         මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට ඉතා අපහසු සිසුන්ට විකල්ප ක්‍රමවේදයන් ට යොමුවන ලෙස දන්වා ඇතත් විකල්ප ක්‍රමයන් පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.

·         “දරුවන් පාඩම් හා සක්‍රියව දායක කරගැනීමත් ඔවුන්ව නිසි පරිදි ඇගයීම් සිදු කිරීමත් ප්‍රතිපෝෂණ ලබාදීමත් සිදුකලයුතු අතරම පසු ක්‍රියාකාරකම්ද ලබාදිය යුතු වේ. නමුත් දරුවන්ට ඇගයීම් සහ පැවරුම් ලබාදීමේදී අනවශ්‍ය පිඩනයක් ද නොදිය යුතු වේ” ලෙස දක්වා ඇත. නමුත් යතාර්ථය මාර්ගෝපදේශහි සඳහන් ක්‍රියාවලියට වඩා වෙනස් ය.

·         රාත්‍රී කාලයේ ඉගැන්වීම ඔවුන් නිර්දේශ නොකරයි. නමුත් බොහෝ පාසල්හි ගුරුවරුන් මුල සිටම රාත්‍රී කාලයේදී (රාත්‍රී 10 පමණ වන තෙක්) තම ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි. බොහෝ දෙමවුපියන් ද රාත්‍රී ඉගැන්වීම් සඳහා වැඩි කැමැත්තක් දක්වයි(ඔවුන්ගේ දවසේ කාර්යයන් නිමවීමෙන් පසු සිදුවන නිසාවෙන්).

·         අවසානයේදී මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සම්බන්ධව ඇතිවන අපහසුතා අවම කරගැනීමට සම්බන්ධ කරගත හැකි පාර්ශවයන් දක්වා ඇතත් ඔවුන්ගේ දුරකථන අංකයක් හෝ ඊ-මේල් ලිපිනයක් හෝ සම්බන්ධකර ගත හැකි ආකාරයක් සඳහන් කර නොමැත.

 

මෙහි ඉතා සාධනීය කරුණුද  ඇතුලත් වේ.

·         මෙවැනි අනපේක්ෂිත තත්වයන් නිසාවෙන් මිනිසුන් වන අපගේ චිත්තවේගී රටාවන් වෙනස් වීම මඟින් ඇතිවන අනවශ්‍ය ආතතිය නිසා ඇතිවන ගැටළු අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම පිළිබඳව සඳහන් වීම

·         දෙමවුපියන් ලෙස දරුවන් සමඟ මාර්ගගත අධ්‍යාපනයෙහි සම්බන්ධ වීමේදී දෙමවුපියන්ගේ භූමිකාවට ලබා දී ඇති මාර්ගෝපදේශයන් ද බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත.

 

වසරක් ඉක්ම ගොස් ඇති මොහොතක හෝ මෙවැනි මාර්ගෝපදේශයක් හෝ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්යංශය යොමු වීම පිළිබඳව සතුටු විය යුතුමය.






Saturday, June 5, 2021

විලංගු ලූ ප්‍රේමය

 

දෙතැනක තනි වී දෙමන්සලක හිඳ

දෙසිතම ලතැවී ඉවුරු දෙකක හිඳ

හුස්ම ගිලන් වූ මතු යම් දිනයෙක

ඇවිත් සනහපන් සිත් දෑල් ගඟ...

 

වෙන්වී තිබුමුත් අපටම ලෝකය

විලංගු ලා අද දෙතැනක තනිවම

සෙනෙහෙ යදම් බැඳ පෙර උන් දවසෙම

මතකය පමණයි අද අපි දෙතැනක...

 

බිඳදා සෙනෙහේ ඉවත බලා නුඹ

මා තනිවීලා රුදුරු ලොවක අද

සුපෙම් සිතින් යළි දැකගන්නට නුඹ

කවදා හැකි වේදෝ.....




Sunday, May 30, 2021

අතරමං වූ ප්‍රේමයක් ...

 

සදාකාලික හිතේ ඇතිවුණු

නිමා කරනට හදේ නොතිබුණු

පාරවා සිත සදා නොමැකුණු

අතරමං වූ ප්‍රේමයක්...

සෙනේ සිත් ඇති ලොවේ හමුවුණු

දුටු දිනේදිම සෙනේ දළුලපු

හදේ ගැඹුරුම තැනම රිදවපු

අතරමං වූ ප්‍රේමයක්...

ඉබේ නොදැනිම රැය පහන්උනු

සිනා කැන් මැද දවස ගතවුණු

සෙනේ වැඩුමුත් මුණ නොගැස්සුනු

අතරමං වූ ප්‍රේමයක්...