Tuesday, August 17, 2021

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

 

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

මේ දිනවල ගුරු අරගලයේ දියාරු ස්වරුපයක් පෙන්නුම් කලද ඇත්ත වශයෙන්ම බහුතරයක් ගුරු විදුහල්පතිවරුන් තවමත් මෙම අරගලයෙහි අවංක ලෙසම තම අහිමි කල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මහත් දායකත්වයක් සපයමින් සිටියි.

ඒ අතරම සම “හරක්” ගුරු විදුහල්පතිවරුන් තමන්ගේ අයිතිවාසිකම් හෝ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ලැබිය යුතු, එහෙත් මෙතෙක් සිටි සියලුම පාලකයින් විසින් ගුරු විදුහල්පතිවරුන් රවටා පුහු අත්මාභිමානයක් සහ උද්දච්ච කමක් ඔළුවතුලට කා වද්දා මෙම ගැටළුව විසඳීම මඟ අරිමින් සිටි අයුරින්ම, මෙම තත්වය වටහා නොගෙන සාමුහික ප්‍රයත්නයට පයින් ගසා තම පටු දේශපාලනික හෝ පුද්ගලික පරමාර්ථ සඳහා ඉටුකරගැනීම සඳහා වෙහෙසෙමින් සිටිනු දක්නට ලැබේ.

සියළුම දේශපාලනික පටු අරමුණු පසෙකලා, පක්ෂ පාට ආගම් කුල බේද නොසලකමින් අහිමි කල වැටුප දිනා ගැනීමේ අරගලය අවසාන ජයග්‍රහණය දක්වා එකම කැපවීමෙන් එක මතයක හිඳ කටයුතු කිරීම ගුරු විදුහල්පති වෘත්තිකයන් වන අපගේ වගකීමකි.

දරුවන්ට වටුකුරුළු කතා කියා දෙන අපේ ගුරු විදුහල්පතිවරුන් අරගල බිමේදී ඒ කියාදුන් කතන්දර, කතන්දර වලටම සිමා කර ඇති බව ද ඉතා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය නිසාවෙන් වටු වැද්දාට බිලි වීමට ඉඩ නොදීම අප සැමගේම වගකීමකි.

දරුවන්ට කුහකකම්, ඉර්ෂ්‍යාකම් නොකිරීමට ඔවදන් දෙන ගුරු විදුහල්පතිවරුන්ම, සුළුතරයක් වූ පිරිසකගේ ක්‍රියාකලාපය නිසාවෙන් අධ්‍යාපන පද්ධතියම අවලාදයට, අපහාසයට ලක් වෙමින් පැවතීම කණගාටුදායකය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ වන කරුණක් වන්නේ තම තමන්ගේ පුද්ගලික දේශපාලනමය භාවිතාවන් සමඟ බද්ධ වී හුදකලා සිද්ධීන් උලුප්පා දක්වමින් සමස්ත පද්ධතියට පහර ගැසීමය. එබැවින් ඒ සම්බන්ධව නිවැරදි කියවීමක් ගුරු විදුහල්පතිවරුන් වන අපට තිබිය යුතුමය. නොමැති වුවහොත් අප යළිත් බේදබින්න වී තවත් අවුරුදු 24කට මෙම ගැටළුව විසඳා ගැනීමට නොහැකි තැනකට පත් වීමය.

නව අධ්‍යාපන ඇමතිවරයා මෙම ගැටළුව කුමන අයුරින් විග්‍රහ කෙරුවද සිදුවන්නේ පැවති තත්වයේම දිගුවක් බවත් සඳහන් කල යුතු වේ.

එබැවින් නැවතත් අවධාරණය කරන්නේ අප සියළුදෙනා එකම මතයක සිට වැඩකරන තාක් කිසිම අයුරකින් අපගේ අතිශය සාධාරණ ඉල්ලීමට ඇහුන්කන් නොදීමට පාලකයින්ට අවස්තාවක් නොලැබෙන බවය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයට ජය.....!

No comments:

Post a Comment