Sunday, May 30, 2021

අතරමං වූ ප්‍රේමයක් ...

 

සදාකාලික හිතේ ඇතිවුණු

නිමා කරනට හදේ නොතිබුණු

පාරවා සිත සදා නොමැකුණු

අතරමං වූ ප්‍රේමයක්...

සෙනේ සිත් ඇති ලොවේ හමුවුණු

දුටු දිනේදිම සෙනේ දළුලපු

හදේ ගැඹුරුම තැනම රිදවපු

අතරමං වූ ප්‍රේමයක්...

ඉබේ නොදැනිම රැය පහන්උනු

සිනා කැන් මැද දවස ගතවුණු

සෙනේ වැඩුමුත් මුණ නොගැස්සුනු

අතරමං වූ ප්‍රේමයක්...



Saturday, May 29, 2021

හිස් වූ අධ්‍යාපනය

 


අනාගත අධ්‍යාපනය

අධ්‍යාපනයේ ඉතිහාසය විමසීමේදී එය මිනිස් වර්ගයාගේ ආරම්භක අවස්තාව දක්වාම දිව යන්නකි. වාචිකව හෝ අසංවිධිත උපක්‍රම භාවිත කරමින් (හස්ත සංඥා වැනි....) තම වර්ගයාට අධ්‍යාපනය ලබාදීම සිදුකරන ලදී. අධ්‍යාපනය සම්බන්ධව ලිඛිත ඉතිහාසය සලකා බැලීමේදී ක්‍රි.පූ 3500 තරම් අතීතයේදී ඊජිප්තුව සහ මැදපෙරදිග කලාපයේ තම වර්ගයාට අධ්‍යාපනය ලබාදුන් බවට ශාක්ෂි හමු වේ. තවද ඉන්දීය උප මහාද්වීපයේ ද, ග්‍රීසිය, රෝමය සහ චීනය ආශ්‍රිතවද මිනිසා තම වර්ගයාට අධ්‍යාපනය ලබාදීමේ ලිඛිත සාක්ෂි පවතියි. එතැන් පටන් 21 වන සියවස දක්වා අධ්‍යාපනයේ විකාශය විවිධාකාර ස්වරුපයෙන් එක් එක් රටවල් හෝ කණ්ඩායම් එක්ව විවිධාකාර විෂය නිර්දේශයන් සකස් කර තම වර්ගයාට අධ්‍යාපනය ලබා දේ. එම අධ්‍යාපනය අතිශයින්ම සාපේක්ෂ වේ. තවද මිනිසා විසින් සිතින් උපකල්පනය කරන ලද සංකල්ප මත පදනම්ව ඒවා සකස්වී ඇත.

ඇත්තෙන්ම අප අධ්‍යාපනය ලබන්නේ සත්‍ය ලෙසම අප අධ්‍යාපනය ලෙස ලබා ගත යුතු දේවල් ද...? ලොව අධ්‍යාපනඥයින් විවිධාකාරයේ අර්ථ දැක්වීම් මත පදනම්ව, සංකල්ප මත පිහිටා අධ්‍යාපනය යන්න නිර්වචනය කර ඒවා පසු පස ගමන් කරමින් අධ්‍යාපන නිර්දේශයන්, වැඩසටහන්, විෂය නිර්දේශයන් සකස් කරනු ලබයි. මිනිසා ජීවියකු ලෙස ඉපදුනු මොහොතේ සිට පවුල, සම වයස් කණ්ඩායම්, පාසල, සමාජය.... තුලින් අධ්‍යාපනය ලබාගැනීම සිදු කරයි. නමුත් මේවාද සංකල්ප මත පදනම්ව නිර්මාණය වේ. මෙලෙස ඉගෙනීමෙහි අවසානය කොතැනද..? අප මේ ඉගෙන ගන්නා සංකල්පමය අධ්‍යාපන ක්‍රමවේදය තුල ඉහත ප්‍රශ්නය සඳහාද ඇත්තේ සංකල්පමය පිළිතුරකි.

විශාල වස්තුන් සෑදී ඇත්තේ ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වලින් බවත් ඒවා වෙන් කරගෙන වෙන්කරගෙන යාමේදී හමුවන ඉතාම කුඩා අංශුන් 12කින් සමන්විත වන අප විද්‍යාව ගැඹුරින් හැදෑරීමේදී ඉගෙන ගනියි. එය ද තවමත් පර්යේෂණ අවධියෙහි පවතියි. විද්‍යාව හෝ වෙනයම් ඕනෑම විෂය කරුණක් පිළිබඳව හැදෑරීමේදී සංකල්පයන් මත පදනම් වේ. ඉහත උදාහරණයම සැලකු විට,

වස්තුන් යන මුලික සංකල්පය මත පිහිටා ඒවා සැදී ඇත්තේ මුලද්‍රවය මත යැයි තවත් සංකල්පයක් ඒකාබද්ධ කර ගනියි. එය තවදුරටත් වර්ධනය කරගනිමින් එම මුලද්‍රව්‍ය තුල ප්‍රෝටෝන නියුට්‍රෝන මෙපමණ ප්‍රමාණයන් පවතියි, ඒවා පවතින්නේ මෙලෙස යැයි තවත් සංකල්පයක් මත පිහිටයි. මෙලෙස නිමක් නැති සංකල්පමය රාමු වලට කොටු වෙමින් හිර වෙමින් අප අධ්‍යාපනය ලබා ගනියි.

තවත් සරල උදාහරණයක් සැලකුවහොත්, මිනිසා කකුල් දෙකකින් ඇවිද යන සහ අත් දෙකෙන් ආහාර ලබා ගන්නා සත්වයෙක් යැයි සංකල්පමය දැඩි රාමුවක පිහිටයි. අත් දෙකක් නොපිහිටන කකුල් දෙකෙන් සියලුම වැඩ කරගන්න මිනිසුන්, මිනිසා විසින්ම හඳුන්වන්නට යොදාගන්නේ අංගවිකල, නොමැතිනම් අස්වාභාවික මිනිසකු ලෙසය. ඔබ නිකමට මෙන් මෙසේ සිතන්න. මිනිසා යනු අත් නොපිහිටන කකුල් දෙකක් පමණක් ඇති ජීවියකු යැයි සංකල්පයක් ගොඩනගා ගතහොත්, අත් පිහිටන මිනිසකු අංගවිකල හෝ අස්වාභාවික මිනිසකු යැයි මිනිසා විසින්ම වෙනත් සංකල්පයක් ගොඩනඟා ගනියි.

තවත් සරලම උදාහරණයක් සලකමු. මිනිසුන් තම ශරීරය වසා ගැනීම සඳහා ඇඳුම් නමැති සංකල්පමය ද්‍රව්‍යක් නිර්මාණය කරගත්තේය. තවද ගැහැණු සහ පිරිමි සඳහා වෙන වෙනම වන සේද ඇඳුම් නිර්මාණය කර ගත්තේය. මෙලෙස සාදාගත් ඇඳුමක් නොමැතිව යම් මිනිසකු ජීවත් වෙයි නම් එම මිනිසා පිළිබඳ අන් 99.99% ක මිනිස් වර්ගයාගේ අදහස කෙබඳු වේද...? නමුත් එහිම විරුද්ධ සංකල්පය ගැන සිතුවහොත් මිනිසා තම ශරීරය කිසිදු ආවරණයකින් ආවරණය කර නොගත්තේ නම්, එලෙස ආවරණය කරගෙන සිටින මිනිසකු පිළිබඳ අදහසද ඉහත අදහස හා එක සමාන ය.

යම් කිසි දෙයකට මෙන්න මේ දේවල් තිබුණහොත් හෝ මෙන්න මේ දේවල් නොතිබුණහොත් එයට මෙලෙස පවසනවා යැයි සංකල්ප ජාලයක් තුල මිනිසා පැටලී ලිහාගත නොහැකිව අසරණ වී සිටියි.

දැන් මෙම ලිපිය කියවන්නෙකු හට ලිපිය ලියන්නා කෙරෙහි හාස්‍යජනක හැඟීමක් ඇතිකර ගැනීම වැලක්විය නොහැක. “පිස්සු කියවනවා ...” වැනි අදහසක් ඒමට පුළුවන. නමුත් මඳක් නැවතී සිතාබලිමේදී ඕනෑම මිනිසකුට ඉහත සරල කාරණය අවබෝධ වේ.

මෙම සංකල්ප මත පිහිටන අධ්‍යාපනයෙහි කෙලවර වන්නේ කොතනද...? මිනිසාගේ අධ්‍යාපන ව්‍යුහය වෙනස් විය යුත්තේ කෙසේද..?ඉහත සංකල්ප මත පදනම්ව අධ්‍යාපනය සකස් කිරීමට තව සියවස් කොපමණ ප්‍රමාණයක් ගතවේදැයි අනුමාන කල නොහැක. නමුත් වර්තමාන සංකල්පමය අධ්‍යාපන ක්‍රමය වෙනස් නොවුනහොත් මිනිසාගේ අවසානයද එයම වීමට පුළුවන.

එය වෙනස් කරන්නේ කෙසේද...? මෙය ඉතා ගැඹුරින් අධ්‍යයනය කල යුතු යැයි කෙනෙකුට තර්ක කල හැක. නමුත් එය කල හැක්කේ තමා තුලින් තමා දැකීමෙන් පමණක් වේ. තමා තුලින් තමා දකින අධ්‍යාපනයක් සකස් කිරීම අනාගත අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. එසේ තමා තුලින් තමාව දැකීමේ අවසානය වන්නේ හිස් අවකාශයකි.

 

උදිත බණ්ඩාර

2021.05.29

Saturday, May 22, 2021

දුරක ගිය ඔබ

 

ළඟින් නුඹ මගේ දෑස මානයට

නැවත කිසිදාක යළිත් ඒවිද 

සිතින් මාගේ නොවුණු දෑතට 

හදට දුක් ගිනි යළිත් දේවිද

හදේ හඬ උණුසුම්ව විඳිනට

අපි යළිත් ලං වේවිදෝ

පෙර දිනේ සිත් බිඳී ගිය අප

කෙසේ නම් ලං වේවිදෝ..... 






මාර්ගගත අධ්‍යාපනය සහ පාසල් ඇඳුම (Online Education and School uniform)

 

පාසල් ඇඳුම සහ onlline අධ්‍යාපනය

 

මෙවැනි සටහනක් ලිවීමට සිත් වුයේ මේ දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වන අග නගරයේ ප්‍රධානතම පාසලක විදුහල්පති විසින් තම පාසලේ දරුවන්ට සහ සිසුන්ට ලබාදී ඇති උපදේශයක් ප්‍රස්තුත කරගෙනය. එහිදී විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් සඳහන් කරනු ලබන පණිවුඩය පහත පරිදි වේ. (සමාජ මාධ්‍යයෙහි හුවමාරුවන whatsapp පණිවුඩය),

 


ඉහත පණිවුඩය සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීම සහ ඒ සඳහා වන comments සලකා බැලුවිට පෙනී යන කරුණ වනුයේ, 99%ක් දෙනාම උක්ත ක්‍රමවේදය සඳහා තම ඍනාත්මක විවේචනයන් ඉදිරිපත් කර තිබීමය. එමනිසාම සහ 1%ක් පමණ වන ධනාත්මක අදහස් දැක්වීමත් සමඟම මා සිත යොමු වුයේ මෙම සිද්ධිය තුලනාත්මකව විමසා බැලීමටය.

ලොව බොහෝ රටවල ප්‍රාථමික සහ කනිෂ්ට ද්විතියික අධ්‍යාපනය (තෘතියික අධ්‍යාපනය මෙහිදී ප්‍රස්තුතයට අදාළ නොවන නිසා එය නොසලකා හැරියෙමි) කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඉතා දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වන සේම බහුතර අධ්‍යාපනය අකර්මන්‍ය පවතී (WHO දත්ත මත පදනම්ව). එබැවින් ලොව බොහෝ රටවල් ප්‍රාථමික අධ්‍යාපනය online ක්‍රමවේද හරහා ක්‍රියාත්මක කිරීමට පෙළඹුණි. ඒ සඳහා වන බොහෝ යෙදවුම් භාවිතා කිරීමටද පෙළඹුණි. (උදාහරණ ලෙස - zoom, google meet, Gotomeeting, logmeIn...... වැනි)

2020.03.12 වන දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ද පාසල් අදියරෙන් අදියර වශයෙන් බොහෝ අවස්ථාවන්හිදී වසා දැමිණි. එබැවින් සිසුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් online අධ්‍යාපනය සඳහා යොමුවන ලෙස දැනුම් දෙන ලදී. එහි සාධනීය ලක්ෂණ ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ ගුරුවරුන් (සාතිශය බහුතරය) තම පන්තියේ සිසුනට online හරහා අධ්‍යාපනය ලබාදීමට පෙළඹුණි. මෙලෙස තිබියදී විවිධ පළාත් අධ්‍යාපන බලධාරීන්, කලාප අධ්‍යාපන බලධාරීන්, කොට්ඨාශ මට්ටමේ අධ්‍යාපන බලධාරීන් සහ බොහෝ විදුහල්පති වරුන් වෙන් වෙන් වශයෙන් online අධ්‍යාපනය හා සම්බන්ධ චක්‍රලේඛ, උපදෙස් මාලාවන් නිකුත් කිරීමට පෙළඹිණි. තත්වය එසේ වනවිට ගුරුවරුන්ගේ ප්‍රතිවිරුද්ධ නැගිටීම ප්‍රබල ලෙස දක්නට ලැබිණි. ඒ සඳහා වන ප්‍රධානතම හේතු සාධක ලෙස බොහොමයක් ගුරුවරුන් සහ ගුරු සංගම් අවධාරණය කර සිටින්නේ,

·         මාර්ගගත ඉගැන්වීමට බලකර සිටීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ සිට විදුහල්පති දක්වා වන ධුරාවලියට අධිකාරිමය බලයක් නොමැති බව.

·         මාර්ගගත ඉගෙනුම සඳහා වන උපකරණ සඳහා වන වියදම් තම වැටුපෙන් කරගැනීමට තරම් වත්කමක් නොමැති බව. (ලැප්ටොප් පරිගණකයක්, රව්ටරයක්, අන්තර්ජාල සම්බන්ධතාවයක්.... )

·         අධ්‍යාපන අමාත්‍යංශය ලෙස කිසිදු උපකරණයක් හෝ ප්‍රතිපාදනයක් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ලබා නොදෙන බව.

·         බොහෝ ප්‍රදේශයන් සඳහා අන්තර්ජාල පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව

·         පන්තියේ 50%ක් පමණවත් මාර්ගගත -පන්තිකාමරය සඳහා සහභාගිකරවා ගැනීමට නොහැකිවන බව.(නාගරික මෙන්ම ග්‍රාමීය පාසල් වල තත්වය එකලෙසම වන බව _ බොහෝ නාගරික පාසල්හි සිටිනුයේ ග්‍රාමීය පෙදෙස්වල සිසු සිසුවියන් නිසාවෙන්)

·         බොහෝ ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතාවය පහල මට්ටමක පවතින බව

 

තවදුරටත් මෙම තත්වය විස්තර කරන ගුරු සංගම් පසුගිය දා නිකුත් කල සමාජ ජාල වාර්තාවක සඳහන් කරනුයේ,

“ජාතික පාසල් 350හේ විදුහල්පතිවරුන් සහ අධ්යාපන සංවර්ධන නියේජ්ය විදුහල්පතිවරුන් සදහා අධ්යාපන ලේකම් තුමාගේ ප්රධානත්වයන් 2021 මාර්තු මාසයේ තිබු මාර්ගත සාකච්චාව කිසිදු සැලසුමකින් තොරව හා අදාල සියලුම පාසල් වල විදුහල්පතිවරු සම්බන්ධ කරගැනීමට නොහැකි වීමෙන් තාක්ෂණික වෂයෙන් අසාර්ථක වීමෙන් පෙනීයන්නේ අධ්යාපන අමාත්යංශයේ සැලසුම් සහගත බවින් තොර වීම සහ එම අමාත්යාංශයයේ නොහැකියාවයි. මෙම සාකච්චාවට විදුහල්පතිවරුන් 100 දෙනෙකුවත් සහභාගී කරගැනීමට අපොහොසත්වන අධ්යාපන අමාත්යාංශය ගැන කවර කතාද?අනෙක් කරුණ නම් මොවුන්ට මාර්ග ගත සාකච්චාවක් හෝ සිදු කරගැනීමට තරම් තාක්ෂණික වශයෙන් ඉතාම ප්රාථමික අවස්තාවක සිටීමයි.
මෙම නිලධාරීන්, ස්වෙච්චාවේන් ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය සිදුකරන ගුරුවරුන්ට බලහත්කාරයෙන් පාන්නේ මෙවැනි සාකච්චාවක්වත් සාර්තකව සිදු කර නොහැකි පරිසරයක් මධ්යයේය.

එබැවින් මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් තුල ඇත්තේ සාධනීය ප්‍රවිශ්ටයක් නොවන බවනම් පැහැදිලිය. නමුත් ගුරුවරුන්ගෙන් සාතිශය බහුතරය උපරිම ලෙස මාර්ගගත අධ්‍යාපනයේ නිරතවන බවනම් අද්දැකිමෙන්ම මා දන්නා කරුණකි.

නැවතත් අප මාතෘකාවට පිවිස, නිල ඇඳුමින් සැරසී මෙම මාර්ගගත අධ්‍යාපනය ලැබීම කෙසේ සිසුනට බලපාවිදැයි සොයා බැලීම උචිතය.

පිලිපීනයේ, St. Francis Of Assisi Montessori School Of Cainta පාසලෙහි සිදුකල පර්යේෂණයකින් අනාවරණය වූ කරුණු අතර,

"මගේ දරුවන් නිවසේ සිටින විට මාර්ගගත පන්ති අතරතුර නිල ඇඳුමක් ඇඳීමට අවශ්‍ය වන්නේ ඇයි...?" ලෙස  එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් විසින් නිතර අසනු ලබන ප්‍රශ්නයක් විය. එහිදී එම පාසලේ විදුහල්පති වරයා ප්‍රකාශකර ඇත්තේ,

“ශිෂ්‍යයින්ට ඔවුන්ගේ නිල ඇඳුම් ඇඳීමට අවශ්‍ය වන්නේ ඔවුන් තුළ විනයක් ඇති කිරීමටත්, ඔවුන් මාර්ගගත රැස්වීමකට සහභාගී වන විට වෘත්තිකයන් මෙන් ක්‍රියා කිරීමට පුහුණු කිරීමටත් අවශ්‍ය නිසාත්” ලෙසටය.

ෆෝබ්ස් සඟරාවේ අත්‍යවශ්‍ය රැස්වීමක් පැවැත්වීමේ කාදිනල් රීති 8 ට අනුව, වෘත්තිකයන් නිවසේ සිට වැඩ කළ යුතු නමුත් වැඩ කිරීම සඳහා පිළිගත් නිල ඇඳුම් ඇඳිය ​​යුතුය. ඔබ ඒ සඳහා සැරසී සිටින්නේ නම් ඔබ වඩාත් හොඳින් ක්‍රියා කරනු ඇත. ඊට ඉහළින්, ඔබේ ඇමතුමේ අනෙක් කෙළවරේ සිටින පුද්ගලයින් ඔබට වඩාත් ගෞරවනීය ලෙස සලකනු ඇත. අවසාන කරුණ නම්, ඔබ වෘත්තිකයෙකු ලෙස සැලකීමට අවශ්‍ය නම්, නිවසේ සිට වැඩ කරන විට පවා ඔබේ කණ්ඩායමේ ඇඳුම් පැළඳුම් කේතය අනුගමනය කරන්න.

පුද්ගලික ආයතන මට්ටමේදී මාර්ගගත වැඩසටහන් වලදී විධිමත්ලෙස ඇඳුම් ඇඳීමේ තත්වය එසේ ය. පාසල්හි නිල ඇඳුම් සම්බන්ධව සැලකීමේදී,

පාසැල් නිල ඇඳුමක් ඇඳීම,

·         නිල ඇඳුම මඟින් තමාට මෙන්ට අන් අයට ප්‍රසන්න හැඟීමක් ඇතිකරලීම

·         අන් අය සමඟ සබැඳිව වැඩ කරන විට නිසි ඇඳුම් පැළඳුම් හා හොඳ පෙනුමක් ඇති කිරීමේ පුරුදු වර්ධනය කරයි.

·         ඔවුන් වැඩී වෘත්තිකයන් බවට පත්වන විට, ඔවුන්ගේ ස්වරුපය, ඔවුන්ගේ සේවාදායකයින් සමඟ හොඳ හැඟීමක් ඇති කරයි.

·         ප්‍රසන්න හැඟීම් ඇති කරන පුද්ගලයින්ට වඩාත් හොඳින් අධ්‍යාපනික සිද්ධාන්ත ඒත්තු ගැන්විය හැකි වීම

එහෙත් සමස්ත රටෙහි තත්වය හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත්තේය. පිලිපීන අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකර සිටියේ, 2020-2021 පාසල් වර්ෂය සඳහා සිසුන් ඉගෙනුම ලබන දුරස්ථ ඉගෙනුම් ප්‍රවේශයන් තුළ පාසල් නිල ඇඳුම් ඇඳීම අවශ්‍ය නොවන බව ය. මෙම ප්‍රකාශය ඔවුන් සිදු කළේ රූපවාහිනී වාර්තාවකින් පෙන්වා දුන් පරිදි, රජයේ පාසල් සිසුන්ට නිවසේදී පාසල් නිල ඇඳුම් අඳින ලෙස බල කරමින් කරන හිරිහැර කිරීම් වැළැක්වීම සඳහා බවයි. එහිදී බොහෝ ළමුන් ප්‍රකාශකර තිබුනේ නිවසේ සිටින අවස්තාවලදී සැහැල්ලුවෙන් සිටිය යුතු බවත් පාසල් නිල ඇඳුම ඇඳ නිවසේ සිටීම කරදරකාරී වන බවත්ය. තවදුරටත් පිලිපීන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වෙබ් අඩවියේ පවා පහත වාක්‍ය ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණි.

“Learners are welcome to wear their most comfortable and appropriate clothes while learning at the safe confines of their homes.”

ඉන්දියාවේ මාර්ගගත අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමුකිරීමේදී,

කර්නාටක සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්ත රජයන් ඉතා කුඩා ළමුන් සඳහා මාර්ගගත පන්ති තහනම් කර ඇති නමුත් කර්නාටක රජය විසින් කුඩා ළමුන්ට පටිගත කරන ලද වීඩියෝ භාවිතා කිරීමට අවසර දී ඇති අතර තහනම අවලංගු කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනා කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබේ. තවද සතියේ දිනවල මාර්ගගත පන්ති කාලය පැය දෙකක් දක්වා සීමා කිරීම, ගුරුවරුන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන් සහ ස්වේච්ඡා සේවකයන් ලබා ගැනීම සහ විවිධ තාක්‍ෂණික ප්‍රවේශයන් සහිත සිසුන්ට පහසුකම් සැපයීම සඳහා විවිධ මාධ්‍යයන්ගෙන් අන්තර්ගතයන් ලබා දීමට පාසල්වලට නියම කිරීම හෝ සිසුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය සඳහා ප්‍රවේශය ලබා දීම වැනි කාරණා කෙරෙහි අවධානය යොමුකර ඇත. නමුත් ඉන්දීය අධ්‍යාපන බලධාරීන් මේ වසංගත තත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන ළමුන්ගේ ඇඳුම පිළිබඳ අවධානයක් යොමුකර නොමැත.

භුතානයේ අධ්‍යාපන අමාත්‍යාංශය භූතාන විද්‍යුත් ඉගෙනුම් වැඩසටහන දියත් කළේය. එය 2020 මාර්තු 27 වන දින ආරම්භ වූ අතර PreK-12 නමින් එම වැඩසටහන නම්කළ අතරම එහි ඇති වැඩසටහන්(පාඩම්) සිසුන්ට අධ්‍යාපන රූපවාහිනිය මෙන්ම යූ ටියුබ් හරහා ලබා ගත හැකිය. විකාශනයේ කාලසටහන් එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ  වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම රටේ සමහර පාසල් නිවසේ සිට ඉගෙනීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සඳහා ගූගල් පන්ති කාමර (google classroom) සහ ජී සූට් (G Suit) වැනි මාර්ගගත මෙවලම් භාවිතා කරයි. පාසල් වසා දැමීම හේතුවෙන් ගූගල් පන්ති කාමර වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමෙන් පසුව අධ්‍යාපනික කටයුතු සඳහා අන්තර්ජාල දත්ත ගාස්තු අඩු කිරීමටද, වැඩි දත්ත ප්‍රමාණයක් ලබාදීමටද එරට දුරකථන සමාගම් කටයුතු කළේය. මාර්ගගත පන්තිකාමර හා සම්බන්ධ වීමේදී භූතානයේ ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද සැහැල්ලු ඇඳුම් පැළඳුම් භාවිත කිරීමට අවස්තාව ලැබී තිබිණි. නිල ඇඳුම සම්බන්ධයෙන් ඔවුන්ද තැකීමක් සිදුකර නොමැත.

කොරෝනා වෛරසය මුලින්ම හමු වූ චීනයේ තත්වය විමසා බැලීමේදී, 2020 පෙබරවාරි 9 වන දින චීනයේ ප්‍රාථමික හා ද්විතීයික පාසල් සිසුන් මිලියන 200 කට ආසන්න සංඛ්‍යාවක් සිය නව අධ්‍යයන වාරය අන්තර්ජාලය හරහා ආරම්භ කළහ. කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් සියලුම පාසල් වසා දමා ඇති හෙයින්, මානව ඉතිහාසයේ විශාලතම එකවරම මාර්ගගත ඉගෙනුම් අභ්‍යාසයට සමාන විය හැකි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයක් ආරම්භ විය. චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් Ensuring learning undisrupted when classes are disruptedනමින් වැඩසටහනක් දියත් කරන ලදී. ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා නොමිලේ මාර්ගගත පාඨමාලා ලබා දීම සඳහා කෘතිම බුද්ධිය (AI) මගින් බල ගැන්වූ වලංගු අන්තර්ජාල පාඨමාලා වේදිකාන් 22 ක් බලමුලු ගන්වනු ලැබීය. (UNESCO වාර්තාවට අනුව) ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය ඉටුකිරීම සඳහා ගුරුවරුන් මත පදනම්ව හිඳ වඩාත් නම්‍යශීලි සහ ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන් සකස්කර ගැනීම සඳහා පුර්ණ නිදහස ලබා දී තිබිණි. එහෙයින් චිනයේද මාර්ගගත අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන් මෙන්ම අධ්‍යාපනය ලබාගැනීමේදී සිසුන්ද පාසල් නිල ඇඳුම් භාවිත කිරීමක් සිදු නොවුණි.

ශ්‍රී ලංකාව තුලද සිද්ධීන් කිහිපයක් හැරුණු විට සමස්ත පද්ධතිය ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය සිදුකරමින් පවතින බවට ඕනෑතරම් සාක්ෂි පවතියි. එහිදී විදුහල්පතිවරුන්කිහිපදෙනෙක් මෙන්ම කලාප බලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපයන් පද්ධතියට නොගැලපෙන ලෙසද ඔවුන්ගේ බල අධිකාරිය ක්‍රියාත්මක කිරීමටද පෙළඹෙනු දැකීම කණගාටුවට කරුණක් ලෙස දකිමි. නමුත් පද්ධතියේ සාතිශය බහුතරයක් නිලධාරීන් සහ ගුරුභවතුන් තම රාජකාරියෙන් පරිබාහිරව නම්‍යශීලි ප්‍රතිපත්තිමත හිඳ තම පාසල්හි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මහත්වූ වෙහසක් දරමින් කටයුතු කරනු දක්නට ලැබේ.

අවසාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලද ලිඛිත සහ වාචික පැමිණිලි හේතුවෙන් 2021.05.18 දිනැති අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරයාගේ අත්සන සහිත ලිපියේ පහත කරුණු අඩංගු කිරීමට කටයුතු කර ඇත.

“ සමහර අවස්ථාවලදී පහත සඳහන් පරිදි සිසුනට ගුරුභවතුන්ට මානසික පීඩනයන් එල්ලවන ආකාරයට විවිධ බලපෑම් කරනු ලබන බැව් නොයෙක් ප්‍රදේශවලින් අමාත්යංශය වෙත තොරතුරු ලැබී ඇත.

1.      දරුවන්ට දරාගත නොහැකි ලෙස, කිසිදු විවේක කාලයක් ලබා නොදී දිනය පුරාම පන්ති පැවැත්වීම. (ඇතැම් අවස්ථාවන්වලදී උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පන්ති පැවැත්වීම)

2.       සිසුනට නිල ඇඳුමින් සරසි මාර්ගගත පාඩම් සිදුකරන ලෙස බලපෑම් කිරීම.

3.      ගුරු මහත්මීන්ට සාරියකින් හෝ ඔසරියකින් හෝ සරසි මාර්ගගත ලෙස පාඩම් වලට සම්බන්ධ වන ලෙස දැනුම් දීම.

මෙවැනි තත්වයන් ඇතිවීම වැලක්වීමට විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් සැලකිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බැව් කාරුණිකව දන්වා සිටිමි.”

තවදුරටත් එම ලිපියේ අදහස් දක්වන අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරනුයේ වසංගත තත්වය හමුවේ පවුල්වල දෙමව්පියන් සහ දරුවන්ට එල්ල වී ඇති මානසික පිඩනයට අමතරව, ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් දරුවන්ට අනවශ්‍ය අකාරයේ මානසික පීඩනයන් ඇති නොවන ලෙසත් මාර්ගගත අධ්‍යාපනය ලබාගන්නා අවස්ථාවන්වලදී දරුවන්ට පහසු ගැලපෙන ඇඳුමකින් ඒ සඳහා සහභාගී වීමට අවස්තාව ලබා දෙන ලෙසත් දන්වා සිටියි.

අවසානයේ හෝ ශ්‍රී ලංකාව තුලදී අධ්‍යාපනයේ ඉහලම බලධාරීන්, මාස ගණනාවක් නිවසට වී දැඩි මානසික පීඩාවෙන් පසුවන දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ට ද, මෙම වසංගත තත්වය හමුවේ තම කාර්යය උපරිමයෙන් සිදුකිරීමට උපරිම වෙහසක් දරන සාතශීය බහුතර ගුරුභවතුන්ටද අස්වැසිල්ලක් වන නිවේදනයක් නිකුත්කිරීමට සිදුවීම නැවත අධ්‍යාපන පද්ධතියේ වෙසෙන සමහරක් බලධාරීන් දෙස දෙවරක් හැරී බැලීමට කාලය බව ද සිහිපත් කරයි.

 

උදිත බණ්ඩාර