Tuesday, August 17, 2021

ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවේ කලයුත්තේ කුමක්ද...?

 

ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවේ කලයුත්තේ කුමක්ද...?

 

අප වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින බැවින් ගුරු විදුහල්පතිවරුන් ලෙස පාසලේදී හෝ අනුබද්ධ ආයතන වෙත සිදුකල සියළු කාර්යයන්ගෙන් ඉවත්ව කටයුතු කල යුතු වේ.

a.       මේ අවස්ථාවේදී මාර්ගගත අධ්‍යාපන කටයුතු කිසිවක් සිදු නොකිරීම.

b.      5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, O/L, A/L සඳහා කිසිදු අකාරයේ සම්මන්ත්‍රණ සහ අයදුම්පත්‍ර පිරවීමෙන් වැළකීම

c.       විභාග රාජකාරි ඉල්ලුම් කිරීමෙන් වැලකි සිටීම

d.      උත්තර පත්‍ර ඇගයීම සඳහා ඉල්ලුම් කිරීමෙන් වැලකි සිටීම

e.      කලාප කොට්ඨාශ මට්ටමින් සිදුකරන රාජකාරිමය දැනුම්දීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම.

ඔබ මෙතෙක් කිසිදු ගුරු සංගමයක සාමාජිකයෙක් නොවේනම්, හැකි ඉක්මනින් ඔබේ කැමැත්ත පරිදි කිසියම්ම හෝ ගුරු සංගමයක සාමාජිකයකු වන්න. (මේ දිනවලදී මාර්ගගතව අයදුම්පත - online application පිරවීමෙන් සාමාජිකත්වය ලබාගත හැකි ගුරු සංගම් කිහිපයක් තිබේ.)

සෑම දිනකදීම හෝ දින දෙකතුනකට වතාවක් තම පන්තියේ whatsapp සමුහය තුල දරුවන් දෙමවුපියන්ගේ අවධානය යොමුවන post, share කිරීම. ( ගුරු විදුහල්පති අරගලය සහ කොවිඩ් පිළිබඳව හෝ.... _ මේ මොහොතේ දෙමවුපියන් ගුරුවරුන් කෙරෙහි යම්තාක් දුරට කිසියම් හිත් නොරුස්සන ස්වභාවයක් ලංකාව පුරාම දක්නට ලැබේ. එම තත්වය අප උගත් බුද්ධිමත් ලෙස වටහාගෙන කටයුතු කල යුතුවන නිසා)

ගුරු විදුහල්පතිවරුන්ට විරුද්ධව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය, අවලාද, මඩ ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට ප්‍රතිචාර දැක්වීමට යාමේදී ඉතාම බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ක්ෂණිකව හිතට එන ආවේගය සමඟ ප්‍රතිචාර දැක්වීමට යාමෙන් වලකින්න.

තම මුහුණුපොතේ (FB) හෝ අපගේ ගුරු විදුහල්පතිවරුන්ගේ whatsapp සමුහයන්ට සම්බන්ධ වී ඒවාට ඔබේ අදහස් පළකර සිටින්න. තමන්ට ඇති ගැටළු නිරාකරණය කරගන්න. සෑම විටම අපේ අරගලයේ සත්‍ය තත්ත්වය අනෙක් අය සමඟ බෙදා ගන්න.

නිවසට පැමිණෙන හෝ මගතොටදී හමුවන පුද්ගලයින්, යහළුවන් සමඟ හෝ අනවශ්‍ය වාද විවාද වල පැටලීමට නොයන්න. සත්‍ය කරුණු අවබෝධ කර දීමට උත්සහ කරන්න. නමුත් ඔහුගේ/ඇයගේ ස්වභාවය මත පිළිතුරු නොදී මඟහැර සිටින්න. සත්‍යය පසු කාලීනව අවබෝධ වනු ඇත.

සක්‍රියව අරගලයෙහි රැඳී සිටින්න. (නිවසේ සිට උවද මෙය සිදුකල හැක)

අරගලය පාවා නොදෙන්නෙකු වන්න. තමන්ගේ පුද්ගලික අභිලාෂයන් සඳහා සාමුහික ක්‍රියාදාමය පාවා නොදෙන්න. මේ මොහොතේ ඔබ විසින් හොර රහසේ හෝ සිදුකරන ලබන රාජකාරිමය කටයුතු පිළිබඳව තමන්ට වඩා හොඳින් අන් අය නිරීක්ෂණයේ පසුවන බව සිහිතබා ගන්න. එමනිසා පසුකාලීනව තම වෘත්තීය ජීවිතය නිරවුල් මනසකින් සිදුකිරීම සඳහා අරගලය සමඟ සක්‍රිය වන්න.

24 වසරක් තිස්සේ නොවිසඳී පවතින මෙම වැටුප් විෂමතා අරගලය මේ මොහොතේ ජය ගැනීම සඳහා ඔබට දැක්විය හැකි උපරිම සහයෝගය ලබා දෙන්න.

ගුරු විදුහල්පතිවරුන් ලෙස අප සියළුමදෙනා එකම මතයක හිඳ කටයුතු කර මෙම වැටුප් විෂමතා අරගලය ජයග්‍රහණය කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමු.

 

 

 

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

 

තවත් අවුරුදු 24ක් බලං ඉමුද....?

මේ දිනවල ගුරු අරගලයේ දියාරු ස්වරුපයක් පෙන්නුම් කලද ඇත්ත වශයෙන්ම බහුතරයක් ගුරු විදුහල්පතිවරුන් තවමත් මෙම අරගලයෙහි අවංක ලෙසම තම අහිමි කල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මහත් දායකත්වයක් සපයමින් සිටියි.

ඒ අතරම සම “හරක්” ගුරු විදුහල්පතිවරුන් තමන්ගේ අයිතිවාසිකම් හෝ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ලැබිය යුතු, එහෙත් මෙතෙක් සිටි සියලුම පාලකයින් විසින් ගුරු විදුහල්පතිවරුන් රවටා පුහු අත්මාභිමානයක් සහ උද්දච්ච කමක් ඔළුවතුලට කා වද්දා මෙම ගැටළුව විසඳීම මඟ අරිමින් සිටි අයුරින්ම, මෙම තත්වය වටහා නොගෙන සාමුහික ප්‍රයත්නයට පයින් ගසා තම පටු දේශපාලනික හෝ පුද්ගලික පරමාර්ථ සඳහා ඉටුකරගැනීම සඳහා වෙහෙසෙමින් සිටිනු දක්නට ලැබේ.

සියළුම දේශපාලනික පටු අරමුණු පසෙකලා, පක්ෂ පාට ආගම් කුල බේද නොසලකමින් අහිමි කල වැටුප දිනා ගැනීමේ අරගලය අවසාන ජයග්‍රහණය දක්වා එකම කැපවීමෙන් එක මතයක හිඳ කටයුතු කිරීම ගුරු විදුහල්පති වෘත්තිකයන් වන අපගේ වගකීමකි.

දරුවන්ට වටුකුරුළු කතා කියා දෙන අපේ ගුරු විදුහල්පතිවරුන් අරගල බිමේදී ඒ කියාදුන් කතන්දර, කතන්දර වලටම සිමා කර ඇති බව ද ඉතා සුළු පිරිසකගේ ක්‍රියා කලාපය නිසාවෙන් වටු වැද්දාට බිලි වීමට ඉඩ නොදීම අප සැමගේම වගකීමකි.

දරුවන්ට කුහකකම්, ඉර්ෂ්‍යාකම් නොකිරීමට ඔවදන් දෙන ගුරු විදුහල්පතිවරුන්ම, සුළුතරයක් වූ පිරිසකගේ ක්‍රියාකලාපය නිසාවෙන් අධ්‍යාපන පද්ධතියම අවලාදයට, අපහාසයට ලක් වෙමින් පැවතීම කණගාටුදායකය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව ගැන දන්නා ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ වන කරුණක් වන්නේ තම තමන්ගේ පුද්ගලික දේශපාලනමය භාවිතාවන් සමඟ බද්ධ වී හුදකලා සිද්ධීන් උලුප්පා දක්වමින් සමස්ත පද්ධතියට පහර ගැසීමය. එබැවින් ඒ සම්බන්ධව නිවැරදි කියවීමක් ගුරු විදුහල්පතිවරුන් වන අපට තිබිය යුතුමය. නොමැති වුවහොත් අප යළිත් බේදබින්න වී තවත් අවුරුදු 24කට මෙම ගැටළුව විසඳා ගැනීමට නොහැකි තැනකට පත් වීමය.

නව අධ්‍යාපන ඇමතිවරයා මෙම ගැටළුව කුමන අයුරින් විග්‍රහ කෙරුවද සිදුවන්නේ පැවති තත්වයේම දිගුවක් බවත් සඳහන් කල යුතු වේ.

එබැවින් නැවතත් අවධාරණය කරන්නේ අප සියළුදෙනා එකම මතයක සිට වැඩකරන තාක් කිසිම අයුරකින් අපගේ අතිශය සාධාරණ ඉල්ලීමට ඇහුන්කන් නොදීමට පාලකයින්ට අවස්තාවක් නොලැබෙන බවය.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයට ජය.....!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිහාසය

 

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිහාසය කෙටියෙන්

 

1994 - ගුරු සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම

එහිදී ගුරු විදුහල්පතිවරුන්ගේ සේවය දීප ව්‍යාප්ත සේවාවක් ලෙස පිළිගෙන දීප ව්‍යාප්ත සේවයේ වැටුප් තලයේ පිහිටුවීම

ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රමවේද, උසස්වීම් ක්‍රමවේද, වේතනය පිළිබඳ ගැටළු නිරාකරණය කිරීමට උත්සාහ කිරීම

 

1997 - රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා - BC පෙරේරා වැටුප් කොමිසම පිහිටුවීම

අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා වැටුප් වැඩිවීමට නිර්දේශ කලත් ගුරු විදුහල්පතිවරුන් සඳහා “වැටුප් වැඩිවීම පසුව දැනුම් දෙනු ලැබේ” යනුවෙන් සඳහන් කර තිබේ. නමුත් අද වන තුරු වැටුප් වැඩිවීම සිදුවී නොමැත.

මෙමඟින් SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 5000 ක් විය.

වර්තමාන අරගලයේ මුලාරම්භය

 

1999.07.02 දින  1086/26 ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා විදුහල්පති සේවය පිහිටුවීම.

සේවයට අන්තර්ග්‍රහණය කිරීම, උසස්වීම් ක්‍රමවේදය, වැටුප් පරිමාන නිසි ක්‍රමවේදයක් අනුව සකස් කිරීම.

 

2008 නැවත සාලිය මැතිව් සහ ලයනල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නැවත වැටුප් සමාලෝචනය සඳහා කමිටුවක් පත් කිරීම.

එහිදීද 1997 දී පවතී වැටුප් විෂමතාවය එලෙසම තබාගනිමින් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම නිර්දේශ කරනු ලැබේ.

එලෙස ඇතිවන විෂමතාවය හේතුවෙන් 2008 උසස්පෙළ පිළිතුරු පත් ඇගයීමෙන් ගුරුවරු ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම.

උසස්පෙළ හදාරන ශිෂ්‍යයකු මාර්ගයෙන් මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් (නඩු අංක SC/FR/282/2008) ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය නැවත්වීම.

එහිදී එම නඩු තීන්දුව ප්‍රකාශ කරමින් එවකට අගවිනිසුරු සරත්. එන්. සිල්වා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගුරු විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කර අවශ්‍ය වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන ලේකම් වෙත නියෝගයක් නිකුත් කිරීමටත්, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් තල අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තල හා යොදා තිබෙන ස්ථානයේ වරදක් පවතින බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත් සඳහන් කර ඇත.

ඒ අනුව 2008 දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිර්දේශ කර ඉදිරිපත් කල අතුරු වැටුප් දීමනාවද ක්‍රියාත්මක නොවීය.

2008 දී SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 15000 ක් විය.

 

2016 - 03/2016 චක්‍රලේඛය මඟින් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් රු. 10000 කින් ඉහළ නැංවීම.

2018 දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිර්දේශ කර ඉදිරිපත් කල අතුරු වැටුප් දීමනාවද ක්‍රියාත්මක නොවීය. (මෙය 2008 ඉදිරිපත් කල අතුරු වැටුප් දිමනාවේම දිගුවකි)

2019 දී සමස්ත ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත්කිරීම සඳහා නිකුත් කල සුබෝදිනි කමිටු වාර්තාව (අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු තිදෙනෙකු සහ මුල්‍ය ලේකම්වරයකු ඇතුලත් කමිටුව)

ඉහත කමිටු වාර්තාව පිලිබඳ පැවති සාකච්ජාව බිඳ වැටීමත් සමඟම වර්තමාන වැටුප් අරගලයේ ආරම්භය...

වර්තමානය වනවිට SLTS 1 හි වැටුප් විෂමතාවය රු. 31000 ක් වේ.

 

 

වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ප්‍රමාද වීමට ඍජුවම බලපාන හේතු (වැටුප් කොමිසම සඳහන් කරන පරිදි)

·         ගුරු සේවා ව්යවස්ථාවට අනුව ඩිප්ලෝමාධාරීන්(ජා.ශි.වි), උපාධි, පශ්චාත් උපාධි, ගෞරව උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ දී නිසි ක්රමවේදයක් අනුගමනය කිරීමක් නොමැත. වර්තමානය වනවිට පවා නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැර වෙමින් ගුරු පත්වීම් ලබාදීම නිසා නිසි සුදුසුකම් අසම්පුර්ණ ගුරුවරුන් පද්ධතිය තුල සිටීම.

·         විදුහල්පති ව්‍යවස්තානුකුලව නිසි පරිදි විදුහල්පති සේවාව සඳහා බඳවාගැනීම් කටයුතු සිදු නොවීමට අතීතයේ කටයුතු සිදුවීම සහ වර්තමානයේදීද වැඩබලන පදනම මත සිටින සුදුසුකම් අසම්පුර්ණ විදුහල්පතිවරුන් ස්ථිර කරලීම සඳහා රජය ප්‍රයත්න දැරීම නිසාවෙන් වැටුප් විෂමතා විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම අපහසුය.

 

 සුබෝදිනි කමිටු වාර්තාවේ සඳහන් වන වැටුප් විෂමතාවය ඉවත් කිරමේදී ඒ ඒ සේවාවන් වලට අදාළ වැටුප පහත පරිදි ගණනය කර ඇත.

(මෙම වාර්තාවේද අඩුපාඩු පවතින බව සඳහන් කල යුතුය )