Monday, June 7, 2021

මාර්ගගත මාර්ගෝපදේශ සංග්‍රහය සහ යතාර්ථය

 

මාර්ගගත මාර්ගෝපදේශ සංග්‍රහය සහ යතාර්ථය

 

2020 මාර්තු මස ගෝලීය වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පාසල් වසා දැමීමට බලධාරීන් තීන්දු කිරීමත් සමඟම නැවත පාසල් ආරම්භය පිළිබඳ ව තිබුණේ අවිනිශ්චිතතාවයකි. එබැවින් එසේ පාසල් වසා දමා මාසයක් ගතවීමටත් මත්තෙන් බොහෝ පාසල් ගුරුවරුන් විවිධ මාර්ගගත ක්‍රමවේදයන් (whatsapp, zoom, google meet ..... වැනි) ඔස්සේ තම පන්තිවල දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසුණි. එතැන් සිට මේ මොහොත දක්වා ගුරුවරුන් තම ඉගැන්වීම් කාර්යය සිදුකිරීම සඳහා පාසල් කාලය පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් දරුවන් හට මාර්ගගත අධ්‍යාපනය ලබාදෙමින් සිටියි. එසේ තිබියදී  2021 මැයි මාසය වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති  “මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශ සංග්‍රහය” බොහෝ ගුරුවරුන්ගේ දැඩි හාස්‍යයට ලක්ව ඇත. එසේ වන්නට හේතු වූ කරුණු රාශියක්ම පවතී.

·         එම මාර්ගෝපදේශය නිකුත් වූ කාල වකවානුව හා මාර්ගගත අධ්‍යාපනය පාසල් මට්ටමේ ක්‍රියාත්මක වීම අතර ඇත්තේ ගව් ගණනක දුරකි. 2020 මාර්තු මස 12 වන දින පාසල් සති පහකට වසා දැමීමට තීරණය කිරීමේ සිට මේ දක්වා වසරකුත් මාස දෙකක් ගත වී ඇත. මාර්ගගත අධ්‍යාපන මාර්ගෝපදේශයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට වසරකට වැඩි කාලයක් ගත වීම රටේ අධ්‍යාපනය පිළිබඳව බරපතල ශෝචනීය තත්වයක් පෙන්නුම් කරයි.

·         මෙම මාර්ගොපදේශයෙදිත් මිට පෙර නිකුත් වූ උපදෙස් අනුව යමින්ම කාර්යභාරය සහ වගකීම සිසුන් දෙමව්පියන් ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත පටවා අමාත්‍යංශ මට්ටමෙන් ඇඟ බේරාගැනීමේ ක්‍රියාවලිය නැවත වරක් සිදුකර ඇත.

·         මෙහි හැඳින්වීමෙහි ඔවුන් සඳහන් කරන පරිදි අමාත්යංශය මට්ටමින්, පළාත්, කලාප මට්ටමින් විවිධ විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. නමුත් ඔවුන් පවසන අතක ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු වැඩසටහන්, බිම් මට්ටමේ අපහසුතා සහිත දරුවන්ට සහ ගුරුවරුන්ට දැඩි පීඩනයක් එල්ල කර ඇත.

·         ඔවුන් මෙහි සඳහන් කරන පරිදි දෙමවුපියන්, භාරකරුවන්, ගුරුවරුන් සහ  විදුහල්පතිවරුන් මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී මුහුණදෙන විවිධ අභියෝග මඟහරවා ගැනීමට මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව කියවෙයි. නමුත් මෙහිදී සඳහන් නොකරන බරපතලම අභියෝග රාශියක් ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට, දෙමවුපියන්ට පවතියි.

o   සොච්චම් වැටුපකින් තම ගෙවල් දොරවල්, යාන වාහන(ණයක් වී හෝ ලබාගෙන ඇති), දුවා දරුවන්ගේ අධ්‍යාපන වියදම් එකී මෙකි නොකී සියලු වියදම් සමඟ අරගලයක යෙදෙන ගුරුවරයා මාර්ගගත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් පරිගණකයක්, අන්තර්ජාල සබඳතාවයක්, සහ අනෙකුත් උපාංග ලබාගැනීමට අමතර විශාල මුදලක් වියදම් කිරීමට නොහැකි බව.

o   බොහෝ දෙමවුපියන්ගේ ආර්ථික මට්ටම මෙම වසංගත තත්වය හමුවේ බරපතල ලෙස පිරිහී ඇති මොහොතක තම දරුවන් වෙනුවෙන් මාර්ගගත ඉගෙනුමට අවශ්‍ය උපකරණ සහ අන්තර්ජාල සබඳතා වෙනුවෙන් වෙන් කිරීමට තරම් වත්කමක් නොමැති බව.

o   අන්තර්ජාල සංඥා නොමැතිකම හෝ ඉතා දුර්වල අන්තර්ජාල සංඥා පැවතීම

o   තාක්ෂණික මෙන්ම අහඹු දෝෂයන් පැවතිය හැකි බව අවබෝධකර නොගැනීම.

§  සියලුම දෙනා නිවසේ සිටින බැවින් නිවසේ ගොඩනැඟෙන වටපිටාවන් (වසංගත තත්වය හමුවේ නිවසටම වී සිටීමෙන් ඇතිවන මානසික පීඩනය හේතුවෙන්) මාර්ගගත කාලසටහනකට අනුව ක්‍රියාත්මක කල නොහැකි වීම.

§  දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි අවස්තාවලදී ඔවුන් සියලු දෙනාම මාර්ගගත අධ්‍යාපනයෙහි නිරත කරලීමට දෙමවුපියන්ට මහත් ආයාසයක් දැරීමට සිදුව තිබීම

§  ගුරුවරුන්ගේ දරුවන්ද මාර්ගගත අධ්‍යාපනයෙහි නිරතවන විට ගුරුවරයාට තමා ළඟ ඇති එකම උපකරණයෙන් හෝ ඉගැන්වීම් කාර්යය සිදුකිරීමට සිදුවීම.  

·         මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට ඉතා අපහසු සිසුන්ට විකල්ප ක්‍රමවේදයන් ට යොමුවන ලෙස දන්වා ඇතත් විකල්ප ක්‍රමයන් පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.

·         “දරුවන් පාඩම් හා සක්‍රියව දායක කරගැනීමත් ඔවුන්ව නිසි පරිදි ඇගයීම් සිදු කිරීමත් ප්‍රතිපෝෂණ ලබාදීමත් සිදුකලයුතු අතරම පසු ක්‍රියාකාරකම්ද ලබාදිය යුතු වේ. නමුත් දරුවන්ට ඇගයීම් සහ පැවරුම් ලබාදීමේදී අනවශ්‍ය පිඩනයක් ද නොදිය යුතු වේ” ලෙස දක්වා ඇත. නමුත් යතාර්ථය මාර්ගෝපදේශහි සඳහන් ක්‍රියාවලියට වඩා වෙනස් ය.

·         රාත්‍රී කාලයේ ඉගැන්වීම ඔවුන් නිර්දේශ නොකරයි. නමුත් බොහෝ පාසල්හි ගුරුවරුන් මුල සිටම රාත්‍රී කාලයේදී (රාත්‍රී 10 පමණ වන තෙක්) තම ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි. බොහෝ දෙමවුපියන් ද රාත්‍රී ඉගැන්වීම් සඳහා වැඩි කැමැත්තක් දක්වයි(ඔවුන්ගේ දවසේ කාර්යයන් නිමවීමෙන් පසු සිදුවන නිසාවෙන්).

·         අවසානයේදී මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සම්බන්ධව ඇතිවන අපහසුතා අවම කරගැනීමට සම්බන්ධ කරගත හැකි පාර්ශවයන් දක්වා ඇතත් ඔවුන්ගේ දුරකථන අංකයක් හෝ ඊ-මේල් ලිපිනයක් හෝ සම්බන්ධකර ගත හැකි ආකාරයක් සඳහන් කර නොමැත.

 

මෙහි ඉතා සාධනීය කරුණුද  ඇතුලත් වේ.

·         මෙවැනි අනපේක්ෂිත තත්වයන් නිසාවෙන් මිනිසුන් වන අපගේ චිත්තවේගී රටාවන් වෙනස් වීම මඟින් ඇතිවන අනවශ්‍ය ආතතිය නිසා ඇතිවන ගැටළු අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම පිළිබඳව සඳහන් වීම

·         දෙමවුපියන් ලෙස දරුවන් සමඟ මාර්ගගත අධ්‍යාපනයෙහි සම්බන්ධ වීමේදී දෙමවුපියන්ගේ භූමිකාවට ලබා දී ඇති මාර්ගෝපදේශයන් ද බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇත.

 

වසරක් ඉක්ම ගොස් ඇති මොහොතක හෝ මෙවැනි මාර්ගෝපදේශයක් හෝ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්යංශය යොමු වීම පිළිබඳව සතුටු විය යුතුමය.






No comments:

Post a Comment